උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටී..

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර මහ කන්නය සඳහා අම්පාර ගොවීන්ට පොහොර ලැබෙන බවට විශ්වාසය ඇති වීමත් සමඟ කඩිනමින් වී ගොවිතැන සිදු වන ආකාරය අම්පාර දිස්ත්‍රික්කයේ තුළ දැක ගත හැකි වූ බවයි ඔහු කියන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින අයුරුද දැක ගත හැකි බව ආමාත්‍යවරයා පවසනවා.

“ගොවියෝ උද්ඝෝෂණය කරලා පාරට බැස්සේ පොහොර ඉල්ලලා. මේ වන විට ආණ්ඩුව පොහොර ලබා දෙමින් යනවා. මහ කන්නය පටන් ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 29ට මේ වනවිට පොහොර වර්ග 3ක් අපි බෙදලා තියෙනවා. මේ මාසේ අග වනවිට නයිට්‍රජන් පොහොර ටික ලංකාවට එනවා. ඒ අනුව වී ගොවි තැන සහ බඩ ඉඟුරු සඳහා අවශ්‍ය සියලු පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ට ලබා දීමට කටයුතු කරනවා.

පොහොර ඉල්ලපු ගොවියෝ දැන් කියනවා කාබනික පොහොර නෙමෙයි අපිට රසායනික පොහොර ලබා දෙන්න කියලා. අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නෑ. ආනයනය කළත් අපට මාස 2ක් යනවා. ඒ නිසා රසායනික පොහොර ඉල්ලලා ගොවියෝ උද්ඝෝෂණය කරලා මේක දේශපාලනිකරණය කරන්න වෙනත් පුද්ගලයින් උත්සාහ කරනවා. අතිගරු ජනාධිපතිතුමා සහතිකයක් දුන්නා ඉදිරි සති දෙකේදී වෙලාවට පොහොර දෙනවා කියලා. ඒ දෙන පොහොර පිළිබඳව රජය වගකීම ගන්නවා කියලා. ඒ විතරක් නෙමේ ඒ පොහොර භාවිතා කරලා නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ඒ සඳහා වන්දි ගෙවන බවටද ආණ්ඩුව කිව්වා. මේක අභියෝගයක් කියලා අපි දන්නවා. නමුත් මේ මොහොතේ අපි පොහොර ටික ලබා දීලා තියෙනවා. සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලනවා වී වගාව සඳහා ගොවි බිමට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්න කියලා.

Leave a comment

Design a site like this with WordPress.com
Get started